ඇමෙරිකා එක්සත් ජනපදය දෙවන වරටත් සඳ මතට පා තබන්නට සූදානම් වෙයි. ඇමෙරිකාව මුල්වරට හඳ මතට මිනිසකු යැවුයේ මීට වසර 57කට පෙරය. ඒ එවකට සෝවියට් සංගමය සමග තමන්ම ඒක පාක්ෂිකව ඇති කරගත් අභ්‍යවකාශ තරඟයක් හා ඉලක්කයක් ජයගනිමිනි. සෝවියට් සංගමය ඇත්ත වශයෙන් ම ඒ සඳඟා තරඟයක් දුන්නේ නැත. ඒ සඳහා වැය වන අධික වියදම දරන්නට ඔවුන්ට නොහැකි නිසාය.
ඒ අභ්‍යවකාශය ජය ගැනීමේ තරඟය පටන් ගත්තේ මෙසේ ය. මීට වසර 69කට පෙර 1957 අප්‍රේල් සෝවියට් දේශය මුල්වරට ස්පුට්නික් -1 නමින් චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැවීය. ඊළඟට සෝවියට් සංගමය ‘ස්පුට්නික් -2‘ යානයෙන් ප්‍රථම ජීවියා (ලයිකා නම් බැල්ල) උඩුගුවනට යැවීය. ඒ 1957 නොවැම්බර් 3 වැනිදාය. ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට පත්වීමට කැස කවමින් සිටි ඇමෙරිකාවට මෙය මදිපුංචිකමක් විය. වහා ක්‍රියාත්මක වූ අමෙරිකානු විද්‍යාඥයෝ තමන්ට ද රොකට් තාක්ෂණය ඇතැයි පෙන්වන්නට රොකට්ටුවක් යොදා ගෙන එක්ස්ප්ලෝරර් -1 නමින් චන්ද්‍රිකාවක් 1958 ජනවාරි 31 වැනිදා උඩු ගුවනට යැවීය. සෝවියට් සංගමය 1959 ජනවාරි 2 වැනිදා ලූනා-1 යන යානය සඳ වෙත යැවීය. එය පෘථිවි කක්ෂයෙන් පිටතට යවනු ලැබූ මිනිසා තැනූ ප්‍රථම යානය විය. එය හඳ මතට පතිත වූයේ නැත. හඳ මතට පතිත වූයේ ඔවුන් ඊළඟට යැවූ ‘ලූනා 2‘ යානයයි. එය 1959 සැප්තැම්බර් 12 වැනිදා මෙහෙන් පිටත් වූ අතර එය 14 වැනිදා සඳ මත පතිත විය. එය මිනිසා තැනූ යානයක් වෙනත් ග්‍රහ වස්තුවක් මත පතිත කළ පළමු වතාව විය. ඊළඟට ලූනා -3 යානය යවා හඳේ නොපෙනෙන පැත්තේ මුල්වරට ඡායාරූප ගැනීමට සෝවියට් සංගමය සමත් විය. ඊළඟට ඔවුන් 1961 අප්‍රේල් 12 දා ‘වොස්ටොක් -1‘ යානයෙන් ප්‍රථම මිනිසා (යූරි ඒ. ගගාරින්) උඩුගුවනට යැවීය. ඔහු පෘථිවි කක්ෂයේ පූර්ණ වටයක් සම්පුර්ණ කරමින් යළි පොළොවට ආවේය. ඉන් සති තුනකට පසු, එනම්, 1961 මැයි 5 වැනිදා, ඇමෙරිකාවත් උඩුගුවනට මිනිසකු යැවීය. ‘ෆ්‍රීඩම් 7‘ යානයෙන් ගිය ඇලන් ෂෙපර්ඩ්ය. ඔහු පූර්ණ කක්ෂ වටයක් ගියේ නැත. පූර්ණ කක්ෂ වටයක් ගිය පළමු ඇමරිකානුවා වූයේ 1962 පෙබරවාරි 20 දා උඩුගුවනට ගිය ජෝන් ග්ලෙන්ය.
ජෝන් එෆ්. කෙනඩි 35 වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වූයේ 1961 ජනවාරි 20 වැනිදායි. ඒ වන විට සෝවියට් සංගමය අභ්‍යවකාශ තරණය අතින් සෑහෙන ප්‍රගතියක් පෙන්වා තිබුණි. තරුණ ජනාධිපතිවරයකු ඔහුට මෙය ඉසිලිය නොහැක්කක් විය. ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම ඔහු එකම අභිලාෂය විය. ඔහු අභ්‍යවකාශ තරණය ඒ සඳහා යොදා ගැනීමට කල්පනා කළේය. ඔහු අමෙරිකානු විද්‍යාඥයන්ට ඉලක්කයක් දුන්නේය. ‘අපි හඳට යමු‘ ඔහු ඒ බව ප්‍රකාශයට පත් කළේ 1962 සැප්තැම්බර් 12 වැනිදා රයිස් විශ්ව විද්‍යාලයේදී කළ විශේෂ දේශනයක දීය. මිනිසාට හඳ මත පා තැබීමට අවකාශ සැලසුණු ඇපලෝ වැඩසටහන ඇරඹුණේ ඉක් පසුවය.
ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා කළ ඉල්ලීම මත ඇරඹුණු අභ්‍යවකාශ තරඟය අවසන් වූයේ විශාල වියදමක් දරා හඳට මිනිසකු යවා පස් සාම්පල රැගෙන ඒමෙනි. ඒත් ඇමෙරිකාව මිනිසකු යවා පස් එකතු කරද්දී සෝවියට් සංගමය ලූනා යානයක් හඳමතට යවා රෝබවකු මගින් පස් සාම්පල එකතු කර ගෙන්වා ගත්තේ ය. එහි දී මිනිසකු හඳ මතට යැවීම නිසා අමෙරිකාවට වැඩි කීර්තියක් අත් විය. ඒ මීට වසර 57කට පෙරය. අද ඇමෙරිකාව දෙවන වරටත් හඳට යන්නට හදන්නේ පා තබන්නටම නොව ඉදිරි වසර කීපය තුළ එහි මිනිස් ජනාවාසයක් පිහිටුවන්නටය. එහි සිට තවදුරටත් අභ්‍යවකාශ මෙහෙයුම් කරන්නටය. ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ආටිමිස්‘ මෙහෙයුම ආරම්භ කළේ ඒ වෙනුවෙනි.
ඒ අනුව, ‘ආටිමිස් 2’ මෙහෙයුම, 2026 අප්‍රේල් 2 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 4.05 ට), ෆ්ලොරීඩා ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය. ගගනගාමීහු සිවු දෙනෙක් ‘ආටිමිස් 2’ මෙහෙයුමට එක් වී සිටිති. ඔවුන් සඳ බලා යන්නේ ‘ඔරායන්’ නමැති ගගන කැප්සියුලයෙනි. සඳට ගොස් ආපසු පැමිණෙන මෙම මෙහෙයුමට ගතවන කාලය දින 10 කි.
ඇමෙරිකා ඉරාන යුද ගැටුම් මැද, සුළු මොහොතකට, අප කාගේත් අවධානය වෙනතකට යොමු කිරීමට ‘ආටිමිස් 2’ ට හැකි විය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය රැගත් ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වනු දැක ගැනීමට සිය ගණනක් ලොකු කුඩා ඇමෙරිකානුවෝ රැස්ව සිටියහ. ලෝකයේ ප්‍රධාන මාධ්‍ය සෑම එකක්ම පාහේ සජීවීව රොකට්ටුවේ ගුවන්ගත වීම විකාශය කළේය.
‘ආටිමිස් 2’යනු වසර 57 කට පසු, යළි සඳට යෑමේ නාසා චන්ද්‍ර මෙහෙයුමය. මෙය පෙරහුරු මෙහෙයුමකි. ‘ඔරායන්’ ගගන කැප්සියුලයේ පද්ධති ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය, සඳට ගොඩබාන්නේ නැත. එය ගගනගාමීන් රැගෙන සඳට ගොස්, සඳ වටා කැරකී ආපසු පෘථිවියට ඒමට නියමිතය.‘ඔරායන්’ ගගන කැප්සියුලය සම්බන්ධ කළ ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව වේගයෙන් ඉහළට ඇඳී යෑම සිදුවූයේ නරඹන්නන්ගේත්, නාසා ආයතනයේ තාක්ෂණශිල්පීන්, ඉන්ජිනේරුවන් ආදී මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාගේ ඔල්වරසන් හඬ මැදය. සියල්ල පෙර සැලැසුම් කළ ආකාරයට නිවැරදිව සිදුවිය. ඉහළට යද්දී, අදියරෙන් අදියර, රොකට්ටුව් කොටස් පහළ සාගරයට පතිත විය. ඒවා යළි භාවිතයට ගැනෙනු ඇත. එම කොටස් එකතු කර ගැනීම සිදුවන්නේ ඇමෙරිකන් නාවික හමුදාවේ සහාය ඇතිවය.
මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් සිවුදෙනාගෙන් නාසා ගගනගාමීන් සිටින්නේ තිදෙනකු පමණි. සිවුවැන්නා නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරන කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියෙකි. ඔහු ජෙරමි හැන්සන්ය. නාසා ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීම විශේෂත්වයකි. ඇය ක්‍රිස්ටිනා හැමොක් කොච්ය. කාන්තාවක සඳ බලා යන පළමු අවස්ථාව මෙයයි. ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙන්නේ නාසා ගගනගාමී රීඩ් වයිස්මන්ය. කැප්සියුලයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්ය. මොවුන් දෙදෙනා ද පළපුරුදු ගගනගාමීන්ය. වික්ටර් ග්ලෝවර් කළු ජාතිකයෙකි. ඒ අනුව සඳ බලා යන පළමු කළු ජාතිකයා ගගනගාමියා ග්ලෝවර්ය. මෙහෙයුමට නායකත්වය දෙන, රීඩ් වයිස්මන් යොවුන් දියණියන් දෙදෙනකුගේ පියෙකි. 2020 වසරේ සිදුවුණු රිය අනතුරකින් රීඩ් වයිස්මන්ග් බිරිඳ දිවියෙන් සමුගෙන ඇත.
ගගනගාමීන් සිවුදෙනා රැගත් ‘ඔරායන්’ කැප්සියුලය, සඳ වටා යද්දී, සඳේ අඳුරු පැත්ත නිරීක්ෂණය කිරීමට ගගනගාමීන්ට හැකිවනු ඇත. මෙම කාල සීමාවේ ගගනගමීන්ට පෘථිවිය සමග සම්බන්ධ වීමට නොහැකි වනු ඇති අතර, ඔවුන් මිනිත්තු කීපයකට හුදෙකලා වනු ඇත. සඳේ ‘අඳුරු පැත්ත’ ලෙස හැඳින්වෙන්නේ පෘථිවියට කිසිදාක දර්ශනය නොවන එහි ඈතින් පිහිටා ඇති කාලාපයයි. සඳ තමා වටා කැරකීමට සහ පෘථිවිය වටා යාමට එකම කාලයක් ගන්නා බැවින්, නිරන්තරයෙන් එහි එකම පැත්තක් පෘථිවිය දෙසට හැරී පවතින අතර අනෙක් පැත්ත සැඟවී පවතී. මෙම පැත්ත ‘අඳුරු’ ලෙස හැඳින්වූවත්, එයටද පෘථිවියට පෙනෙන පැත්තට මෙන්ම හිරු එළිය ලැබෙන අතර, අභ්‍යවකාශ යානා මගින් ලබාගත් තොරතුරු වලට අනුව එම ප්‍රදේශය අධික ආවාට සහ රළු පර්වත වලින් ගහණ ප්‍රදේශයකි.
රොකට්ටුවෙන් මිදුණු ‘ඔරායන්’ කැප්සියුලය, පෘථිවි කක්ෂයේ වට කීපයක් කැරකීමෙන් පසු බූස්ටර් පණ ගන්වා, සඳ බලා යන ගමන ආරම්භ කළේය. තව දින හයකින් ‘ඔරායන්’ කැප්සියුලය සඳට ළං වනු ඇත. කැප්සියුලයට සූර්ය පැනල සවි කර ඇති අතර, කැස්සියුලයට බලය ලැබෙන්නේ සූර්යයාගෙනි. දින 10 ක සාර්ථක මෙහෙයුම අවසානයේ, කැප්සියුලයේ ගගන ගාමීන් රැඳී සිටින කොටස ආපසු පෘථිවියට පතිත වීම සිදුවන්නේ යෝධ පැරෂූට් ආධාරයෙනි. එම කොටස විශේෂ තාප පළිහකින් ආවරණය ඇත. ඒ, ආපසු පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී, ගිනි ගැනීමට ලක් වන බැවින්, එයින් ආරක්ෂා වීමටය. කැප්සියුලයේ ගගනගාමීන් සිටින කොටස සාගරයට පතිත වන අතර, නාසා බලධාරීන් සහ ඇමෙරිකන් නාවික හමුදාව ඔවුන් එනතුරු බලා සිටිනු ඇත.
‘ආටිමිස් 2’ මෙහෙයුම සාර්ථකත්වයෙන් පසු, ‘ආටිමිස් 3’ මෙහෙයුම ආරම්භ වනු ඇත. ඒ, 2035 වසරෙන් පසුවය. එම මෙහෙයුමේ දී වැඩි දියුණු කරන ලද ‘ඔරායන්’ ගගන කැප්සියුලයක් ගගනගාමීන් සිවු දෙනකු සමග සඳට පතිත කරනු ඇත. පළමු වරට ගනගාමිනියක ද ‘ආටිමිස් 3’ මෙහෙයුමේ දී සඳට පය තැබීමට නියමිතය. පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ තව වසර කීපයකින් විශ්‍රාම යනු ඇත. විශ්‍රාම යෑම යනු එය අතහැර දැමීමය. ඉන්පසු ඉදිරියේ දී සිදුවන අභ්‍යවකාශ ගවේෂණ සිදුවනු ඇත්තේ සඳමතුපිට ඉදි කෙරන නැවතුම්පොළවල සිටය. එම නැවතුම්පොළ ඉදි කිරීම සිදුවනු ඇත්තේ 2055 වසරෙන් පසුවය. එය ඇමෙරිකා නාසා ආයතනයේ මූලිකත්වයෙන් සිදුවනු ඇත.
මීට 57 වසරකට පෙර, පළමුවෙන්ම මිනිසුන් සඳට යැවීම කළේ ද ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ඒ අවස්ථාවේ දී ද මෙවැනිම පෙරහුරුවක් කරනු ලැබීය. 1969 ජූලි 20 ඇපලෝ 11 මෙහෙයුම යටතේ, නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූහ. ඉන් අනතුරුව, 1972 දක්වා ඇපලෝ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක විය. තවත් ගගනගාමීහු 12 දෙනෙක් වරින් වර සඳට පය තැබූහ. ඇපලෝ මෙන්ම ආටිමිස් ද ග්‍රීක දේව පුරාණයට සම්බන්ධ චරිත වෙයි. ග්‍රීක දේවකතාවලට අනුව, ඇපලෝ සූර්යයාට අධිපති දෙවියාය. සූර්යයාට අධිපති දෙවියා වුවත්, 1960 සහ 70 දශකවල සඳට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුම් ඇපලෝ යනුවෙන් නම් කෙරුණි. ග්‍රීක දේව පුරාණයට අනුව ආටිමිස් යනු ඇපලෝ දෙවියාගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට අධිපති දෙවඟනය. -
- ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට

0 Comments